හේබෑ වෙච්ච හේනම දුටු වෙලාවේ
සෝදා යන්න හිත හඬනා වෙලාවේ
ඔහු මා අතැර දුර ගිය කල්පනාවේ
මැවිලා පෙනුනි හදවතෙ හුඳකලාවේ
වැහිබර අහස නැතිමුත් මේ කාශ්ඨකේ
පලබර වේය ලෙංගතු අව් කාශ්ඨකේ
නැති බැරි කමම නොකියා දිවි කාශ්ඨකේ
අත් පා යුධ වැදුනේ බඩගිනි මාරකේ
මුං මෑ ඉරිගු පැත්තක ගියෙ එක සීරුවට
තිබ්බටු බතල මඤ්ඤොක්කා එක යායකට
හිනැහී රතු මිරිස් තිබුණේ හරි සීරුවට
අතරින් පතර වට්ටක්කා වුනි යායකට
හතියෙන් ගිලෙන දිව ලබු කැටයෙන් තෙමාගෙන
වෙහෙසෙන් පෙලෙන ඔහු ගත මැස්සක සතපගෙන
ඉරගල වැටෙන විට දෙවියන් වැඳ පුදාගෙන
සුරැකියෙ ඔහුයි පවුලම හේනක් කොටාගෙන
නොසිතුව ලෙසට ආවා හෙනහුරු වෙලීගෙන
පුරහඳ නොමැති දවසක රෑ හූ කියාගෙන
නොබලා දෙපාරක් ගිජිදුන් ගියෙ ඔසවගෙන
අවසන වැතිර උන්නා මිහිකත බදාගෙන.......
No comments:
Post a Comment