Pages

Monday, July 2, 2012

සඳකඩපහණ සහ ඔහු


ගල්කටුව සහ
මිටිය ගෙන
අධ්‍යාත්මය මුසු කොට ඊට - එහි ගැඹුරට
හදවතක් සේ ඉසියුම්
ධර්මයක් සේ ඉසියුම්
සඳකඩපහණක්
නෙළීය වඩු.
මදක් ඈත් වී බලා
ඒ දෙස
සිතීය ඔහු,
"කුණු කයක් සේ කැතය
දිරූ ඇටසැකිල්ලක් සේ කැතය
මා නෙළූ සඳකඩපහණ"

වේදනාවෙන් මිරිකී
මළේය ඔහු
ටික දිනකින්.

ඊට
වසර
පන්සියයකට පසු
ඔහු ඉපිද
යළි එපුර
බලා ඒ සඳකඩපහණ දෙස
කීය,
"උස්මිටි භේද නොමැති ව
වස් සියවස් ගණන්
පෑගී මිනිස් පයට
හදවතක් සේ
ධර්මයක් සේ
සියුම් ව - ඉසියුම් ව ඇත
මේ සඳකඩපහණ.
කවර නම් විශ්මයක්ද !
විශ්වකර්ම ම
තැනූවක් මෙය.
දිටී නම් මෙය දැන්
මෙය තැනූ කලාකරු
රහත් - අරහත් වන්ට
තිබුණිය ඔහුට.
ඉපදේ නම් යළිත්
මේ පින් බිම ම
ඉපදිය යුතුයි මා
මෙවන් සිරි අසිරි විඳිනට"

තවත් වසර
පන්සියයකට පසු
ඉපදීය ඔහු
මේ පින් - සුපින් බිම ම.
ගොස් ඒ පුද බිමට
බලා වටපිට
දැක ශුද්ධ බිම
කීය ඔහු,
"මෙතැන
තිබෙන්නට ඇත
සඳකඩපහණක් වැනි යමක්.
සලකුණු තිබේ
ඊට.
ගල් මළකුණුවල හැටියට
එය මහා පුදුමයක් ම වන්නට ඇත.
හදවතක් සේ
ධර්මයක් සේ
සියුම් - ඉසියුම් වන්නට ම ඇත
ඒ සඳකඩපහණ.
ගලවා ඒ නිධානය
දතක් සේ
විකුණන්නට ඇත පිටරටට
හොරුන් විසින්
එක් අඳුරු රැයක.
අද සිටියේ නම්
විශ්මිත සඳකඩපහණ නෙළූ
ඒ කලාකරු
මේ අපරාධය - සාපරාධය කර
ඔහුගේ
මුහුණ බලන්නේ කෙලෙස
කිසිවෙක් ?"

ගින්දරෙන් පපුව පිච්චී
ඔහු සිතී දිගට ම.

Samitha B. Atuwabendela

No comments:

Post a Comment

 

Sample text

Sample Text