skip to main |
skip to sidebar
භාගෙට ලියපු කවිය නොහොත් රංචාගොඩලමයාගේ ගඟේ කවිය
සැමන්ටින් පොල් කෝම්බ
රෙදිවැරලි මලමූත්‍ර
මැහිතෙල් කුප්පි ඉටිකවර
දරාගෙන
ගඟ කොතෙක් නම් දුර ගලන්නද ?
ගඟ උඩින් පැන
මළේ කන්ථක.
පාරුවේ වැඩ කොට
ගඟේම මළේ
උපාසක.
කිඹුලා හිටියෙ
මාතර ගඟේ.
චන්ද කාලේ
කිඹුල් කඳුළු තිබුණේ
ගඟේ වතුරේ.
වැලි පොලේ
කූඩ ගත් කිඳුරන්ට
බොක්කෙන්ම
වැලි දුන්නේ.
රහස් මෙන්
මැණික් රැක්කේ.
ගඟට කැපූ ඉනි
ඉවුරට ගෙනාවේ.
සුදුසු තැන්වල
සුදුස්සාට තැන දී
ඕලු මානෙල් පුබුදගත්තේ.
පයක් ලිස්සා
පියවතී හිටියේ
ගඟේ පතුලේ.
කුලිය නිමවී පඩිදා
පුතුට ගෙන ආ
කිරි මුට්ටි
ගසාගෙන ගියේ
ගඟේ වතුරේ.
කොක්කුන්ගෙ චායාව
විතරයි ගඟේ තිබුණේ.
පාලම උඩින් පැන්නේ
සුමනාවතී.
ඇගෙ බඩෙයි
තහනම් ගෙඩිය තිබුණේ.
මුරුගසන් වැස්ස වැහැලා
ගඟම පිරුණේ.
උස්මුරුත්තාවෙන්
ගඟම ගැලුවේ
ගමම යටකර
තමයි නිවුණේ.
බලෙන් මැනලා
වේලි බැඳලා
වතුර විදුලිය කෙරුවේ.
ඉඩෝරේ කරන්ට් එක වැදිලා
ගඟම හිදුණේ.
ලාබ
කොරළින්ටත්
ඉඩක් දුන්නේ.
අයිතිවාසිකම් වෙනුවෙන්
ගල්වලත් හිස
ගසා ගත්තේ.
ගඟෙන් වතුර බී
මුහුදටයි ආවැඩුවේ.
දුකට කෝපයට
ගඟම බොර පාට වූයේ.
අඬාගෙන ගොස්
මුහුද වැලඳ ගෙන
කඳුළුවල රහට - ලුණු රහට
හැරුණේ !
ඈත
උපන් කඳු දෙස බලාගෙන
ගිමන් හැරියේ.
සැප දුක සමබර කරගෙන
ආගමන හිතහිත
මෝයකට ළඟ
මහලු වූයේ.
No comments:
Post a Comment