(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
සාගරයක් තරමට වැඩි කඳුළු ගඟක් මැද්දේ
උණුහුම සෙව්වෙමි ඔබගේ තනියට රෑ නින්දේ
අම්මේ හීනෙන් අවුදින් මා නළවන සද්දේ
දෙසවන් මත පිලි රැව් දී මගෙ සිහිනය බින්දේ
පොවන්න පෙර කිරි කළයම ගඟේ ගියාද
මව් සෙනෙහස ගඟ පතුලේ සැඟව ගියාද
ගඟට උඩින් කඩිමුඩියේ කොක්කු ගියාද
සෙනෙහස ගෙන දුරු රටකට ඉගිල ගියාද
මවක අඩුව මකනු බැරිව දෙවෙනි මවක සේ
අත්තම්මා ළඟ උන්නා සෙවනැල්ලක් සේ
දෙවෙනි මවුන් ආ දවසේ දැනුනන දුක කෙසේ
ලියා එවන්නද අම්මේ හැඬුවෙමි රහසේ
සසර පුරා නොඅඩුව මව් සෙනේ ලබන්න
අතර මගදී මා තනි කර දුරක නොයන්න
සතර වරිගයම සසරෙන් එතෙර කරන්න
අතැර දමන්නෙමි ගිහි ගෙය පින් පුරවන්න
මව් සෙනෙහස සඟවා ගමි කොනක මා ලයේ
සිහිනෙන් තුරුලට ගන්නට නමුදු ඉඩ තියේ
කසාවත නිසා තනිකම යළි සිතට නොයේ
සිල් සුවඳක මෙත් ගඟුලක ගිලෙමි දිව රැයේ
No comments:
Post a Comment