skip to main |
skip to sidebar
පූජාව
සාලය පුරා
ඇති තරම් 'බිතුසිතුවම්' අඳින්නට
පාට පාට පැස්ටල් කූරුවල ඔතා
මට මගේ නිදහස දෑතින් ම ගෙනත් දුන්නේ
නුඹය.
නුඹේ උපකරණ
ඇද ඇද ගලව ගලවා
විද්‍යාව පිරික්සන සඳ අප
නිහඬව ම ඒ දෙස බලා සිටියේ
නුඹය.
සරුන්ගල් වලාකුළු පිටුපස
දුවන්නට
පිත්ත ගෙන දකුණතට
මුළු දවස ම පිට්ටනියේ උඩ පනින්නට
මට මගේ ළමා කාලය ම
සිනාසී දන්දුන්නේ
නුඹය.
වත්තපුරා සක්මන් කර
පොල් ඉරටු හොයන කොට,
තටු ගස ගසා
අහසපුරා පියාඹන්නට
සරුන්ගල් පැටියාට පිහාටු පලඳන කොට
මා ළඟින් ම නතර වී
හැමදා ම වීර්යය වී සිටියේ
නුඹය.
අකුණු ගහන මහා වැස්සක්
බිම හෙලන කොට මම නෙතින්
"කූරියන් ගහන සරුන්ගලයත් ලස්සනයි"
අලුත් ම පාඩම කියා දුන්නේ මට
නුඹය.
අපබ්‍රන්ශ
මුළු රාත්‍රිය පුරා ම
ඇහේ නිදිකුම්බා කටු ඇන ඇන
කටපාඩම්ම නොකෙරුවැයි
ටියුෂන් මල්ලව පොරයට
ගස් ගල් පෙරලගෙන
පිම්මේ ම නොගියා යැයි
කෝප වී
වේවැලෙන් ලේ පාට වේදනා ඉරි
තට්ටම පුරා නොඇන්දේ
නුඹය.
ජීවිතේ මුඩු බිම්වල
ඇවිදලා ඇවිදලා
එළවළු පලතුරු රැගෙන
වැඩ ඇරී ඇවිත් කැදැල්ලට
අපට ඇහෙන සේ
හයියෙන් ම කියවා නොයෙක් පතපොත
මෘදු හැඟුම් උළා දිව අග
අත් දෙකෙන් ම මට
මගේ කවිකම ගෙනාවේ
නුඹය.
පුන්චි අත
නොබිඳෙනා බැඳීමෙන් අල්ලාන
කුරුළු ගීත අතගාන්නට
මල් සුවඳෙ ඇස් බලන්නට
මව්බිමේ හැම බිම් අඟලකට ම
මා රැගෙන ගියේ
නුඹය.
අප්පච්චී
කැලේ පිපුණු මේ මගේ කවි ටික
එකතු කොට
සිලිමල්ල පිරෙන්ට ම
නුඹේ සොහොන පාමුල
තබමි දෝතින් ම මම
මලක් සේ පරනොවී
හැමදාම නුඹ ළඟ රැදෙන්නට !
No comments:
Post a Comment