අඩි හයේ හයේ ගෙපැලේ
ටකරමක් යටයි උන්නේ
මුඩුක්කුවේ ඉපදී
උඹ නෙළුම් මලක් වූයේ !
පවුලම කර තබා
කල්වාරිය නැංගේ
පොඩි මල්ලි සමත් කරලයි
උට්ඨානය ලැබුවේ
කඳුළ කඳුළ තියලා
දෑවැද්ද එකතු කෙරුවේ
නංගි බඳින දවසේ
උඹෙ ඇහෙන් සතුට වැටුණේ
බැටන් පොල්ල වැන්නේ
උඹෙ කෙට්ටු අතක් බැබළේ
ඒ කෙට්ටු අතින් ගහලයි
කළු ගලම මැටල් කෙරුවේ
මවිල් පිරුණු පපුවේ
යට නිල් මැණිකක් දුලුණේ
වැඩවර්ජන දිනයේ
උඹ ශුද්ධ වතුර හෙළුවේ
අයිතිවාසිකම් කන්ද මුදුනේ
උඹ තමයි කොඩිය බැන්දේ
ඒ කොඩිය බිමට දමලා
උන් උඹට පයින් ගැහුවේ
කොම්පැනිය ගසින් වැටිලයි
උඹෙ පපුව කැඩී තිබුණේ
උඹෙ සොහොන උඩින් අහසේ
මළ තරුවක් දිලිසේ !
Samitha B. Atuwabendela
Wednesday, May 9, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment