skip to main |
skip to sidebar
යකඩ යකාගේ වෙනස්වීමේ සත්‍ය කතාව
යකඩ කඩේ
යකඩයා
හෙණරාජ තෙල් ගාගෙන
කොණ්ඩේ පීරගෙන
ජීව උණ්ඩ සුරය
බෙල්ලෙ ලා ගෙන.
බයිට් කකා
සුරා බිබී
කොළඹ සිටින යකඩ යකා.
යකඩ කඩේ
යකඩයා.
ජන්ද කාලේ
මද කිපී
විපක්ෂේ පෝස්ටර් කෑව
සත්ත්වයා.
යකඩ කම්බි
යකඩ අත්වලින්
ඈත් කොට
හත් පාරක් හිරෙන් පැන්න
යකඩයා
පොලෝසියට
අහු නොවෙන්න
පාතාලේ කට්ට අස්සෙ
සැඟවෙලා හිටිය
(යකඩ) ඉබ්බා.
හැමෝම කිව්වේ
යකඩයාගෙ හිත
තැලුවට තැලෙන්නෙ නැති
යකඩයක්.
දිය පොදක් නැති
කාන්තාරයක්.
කැපුවට කැපෙන්නෙ නැති
රළු පරළු ඉදිමුණු ගලක්.
ඒ වුණාට
හදාගත්ත අම්මට
මුළු හදෙන්ම පෙම්කෙරුවා
යකඩයා.
අහක යන
කප්පම් කොමිස් අරක්කු බෝතල් සර්පයින් දාගත්ත
සරම අස්සෙ දාගෙන
ඒ අම්මට ගිහිං දුන්න
බූන්දි මස්කට් කඩල ජාති.
සූරු පිටින් වැඳ වැටුණා මව් පාමුල
නාලාගිරි සේ
"කුණු කානුවේම
මැරෙන්ට නොදී
මාව හදාවඩා ගත්ත
මුඩුක්කුවේ දේවතාවි උඹයි" කියල.
පුන් සඳ කඩා වැටිලා
ඒ අම්මා
හදිසියේම මියගියදා
යකඩ හද උණු වෙලා
ගල් හද දිය වෙලා
කාන්තාරෙ කඳුළු පිරිලා
කැරකෝප්පුවේ
කොතක් නැති සොහොන ළඟ
යකඩයා ඇඬුවා තනියම,
"බුදු අම්මේ මට බැරි විය
උඹේම පුතා වෙන්ඩ.
බුදු අම්මේ සමාවෙන්ඩ
මට බැරි විය
උඹේම පුතා වෙන්ඩ.
අපෙ අම්මේ මං බල්ලෙක්"
..........................
..........................
..........................
..........................
..........................
..........................
(පසු කතාව)
ඊට පස්සෙ
දැම්මා මල් කඩය
යකඩයා.
හන්දියේ සුදු ඇතා යකඩයා !
No comments:
Post a Comment