Pages

Monday, July 2, 2012

ලැබුවෙමි පිය පදවිය


රාජ තේජස වඩම්වාගෙන 
යෝධ බැම්මක් බන්ධවාගෙන
ඉරේ රැස් ටික ටික උරාගෙන
අනේ ආවා නුඹ අඬාගෙන....

මැදියමේ මහ ජරමරේ
අඩන විට ඇය කළුවරේ
හිතා ගන්නට බැරි කරේ
ඒ තරම් හද හිරකරේ.....

ගිලන් රථයක් හූ කියාගෙන
ආවෙ විගසින් ගේ හොයාගෙන
දෑත මැද්දට ඇය වඩාගෙන
ගෙන ගියේ මා ළය හොවාගෙන...

කඩි ගුලක් මෙන් වෙදදුරෝ
ළගින් උන්නා එක පොරේ
බංකුවක හිස හිරකරේ
නොදුටු දෙවි නැමදුම කරේ....

අනේ අම්මේ යැයි කිය කියා
එකම වැළපුම හද ගිනි තියා
නොමැති විට කිසිවෙක් මගෙ කියා
තෙත් කලේ ඇස් මටත් නොකියා.....

අපි අතර විරසකය පන්නා
ආදරේ මහ බරක් දුන්නා
අලුයමට හිරු ඇවිත් උන්නා
මලක් විලසට දුවෙක් දුන්නා......

හතර අත මා ඇමතුවා
හදේ සැනසුම වැපිරුවා
සිහින විමනක හින්දවා
නුඹේ ලෝකයම හිතුවා....

දුවේ පියකරු කුසුම නුඹමයි
ලොවේ හැම සැප මගේ දුවටයි
හිතේ අරුමැසි සුවඳ නුඹමයි
පියෙක් වූ අභිමන ඒ තමයි.......

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text