Pages

Monday, July 2, 2012

සැබෑ ලෙංගතුව _


කොහිල පාත්තිය ගාව
අම්මාද
අම්මා ළගක කොහිල පාත්තියද....

පුදුමාකාර නෑ කම් ඇති,
විටෙක ඇය සිනහවෙයි
තව දිනක කතා කරයි
හැමදාම අලුත් දල්ලක් නම් දෙනවාමය

පාට මැකුණු සුදු ගවුමට
අලුත් රෙදි මීටරයක් ගන්න
අඩිය ගෙවුන සපත්තු දෙකට
පැලැස්තරයක් දමන්න
අලුත් දල්ලක් දෙනවාමය

වළං පිගන් සෝදා වතුර ටික
පරිස්සමෙන් බේසමට දා
...මෙන්න ඔයාට.... කියා අම්මා
නාවන්නේ කොහිල පාත්තියයි.
දෑත ඔසවා සිනා සී කොහිල පදුරු
නොවරදවාම අලුත් දල්ලක් දෙනවාම....

ළිං පඩිය ගාවින් හරවපු
යෝධ ඇල බැම්බ
අම්මා බැන්දේ ඇගේ දෝතිනි.
දැන් හැමදාම මහා දිය කදක්
ඉවුරු කඩා බිද නොගෙනම
ඒ මගේ යන්නේ ...මෙන්න අපිත් ආවා...
කියාගෙන කොහිල පාත්තිය ගාවටය...
ඉතින් අලුත් දල්ලක් නම් දෙනවාමය.....

කවමදාවත් අම්මාට කොහිල කටු
රිදෙන්නේම නැත
වළලුකරක් මඩෙහි බැස
අම්මා සාත්තු සප්පායම් කරන්නේ
නිදුක් නිරෝගීව ඉන්න කියාය...
කළගුණ සලකන්නම කොහිල පාත්තිය
අලුත් දල්ලක් දෙනවාමය....

ඉදහිට හන්දියේ කඩේ
මැස්ස උඩ ගිමන් මහන්සිය හරින්නේ
අම්මාගේ ඇස කදුළු නංවන්න
බැරිම හින්දා පමණක් නොව
හෙටත් අලුත් දල්ලක් දෙනවාම කියාය...

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text