හෙළයෙ අකුරු ගෙන ලිවුවා පොතම දනී
කඩ්ඩේ අකුරු හැරවුවා හිතම දනී
මඩේ සිටවු ලීය වගේ නුඹම වැනී
කවිය කුමට යමි යන්නට හිතක් දනී....
සකී නුඹයි ගේ දොරකඩ පිපෙන මල
මැකී නොයයි ඒ සිතුවම අඳින සෙල
හැරී ගිහින් සමා අරන් එයිද නල
නිවී පහන් වෙන කවියම නුඹම කළ...
ඇන ඇන බඳින අකුරට ගතු කියන්නද
දැන දැන නපුරු දුදනන් හා ගැටෙන්නද
තම තම නැණ පමණ හා දෙස් තියන්නද
තව තව ලියාපන් අත්පුඩි තලන්නද.....
දිනුම සොයා යනු මන්දැයි සිතුණු විට
පෙනුම නොවේ ගෙන දුන්නේ කිසිම විට
දැනුම නුඹේ නුඹ අසලක තියෙන විට
පදම බලා කවි ලියපන් අගෙයි හෙට....
පාමොක් දිසා නොවුනත් මගෙ ගුරුවරයා
මූසිල නොවුනි කිසි දවසක ඒ දෙවියා
දහමෙන් කතා ඇති මුත් නැත කට බලියා
වේගෙන් ලියා පලයන් නුඹ වෙයි දිවියා.....
ගගනත මුදුන අල්ලන්නට ඇවැසි නොවේ
මිහිකත ළගම සැනසුම මට අගය මැවේ
සිරිකත වෙලා හිනැහෙන විට අගෙයි මුවේ
හිරිකිත නැතිව උඹ ලියපන් ඉතින් ලොවේ......
දිනිති දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment