skip to main |
skip to sidebar
අනෝරා වැසි
හිරු දෙනෙත් බොඳ වේවි කළුවරේ හඬනකොට
වැහි කඳුළු සිත් අහස දෙපලු කර සැලෙනකොට
වලාකුළු සයන දුක් සීතලෙන් ගැහෙනකොට
මිහි කොපුල් දිය වේවි ලතැවුලෙන් තැවෙනකොට
සිනා මල් සෙවිලි කල සතුටු මැදුරට වෙලා
කඳුළු වැසි නොපෙනෙන්න කවුළු දොරගුළු ලලා
සෙනෙහසෙන් කෙලි දෙලෙන් වියපු සළු පිලි වෙලා
සිටින නුඹටත් අපේ මතක අමතක වෙලා,,
තුරු ලතා පවා වැසි දිය අරන් හිනැහෙද්දී
පිරුණු ගං විල් ඉවුරු සොම්නසින් ඉතිරෙද්දී
මිහි ලයේ ලතැවිල්ල දිය මතද ඇවිලෙද්දී
කියන්නද මන් කොහොම නුඹටවත් නොදැනෙද්දී,,
උනන උණු වැහි කඳුළු නුඹ නිසා තරු නෙතින්
මගේ නෙතු කෙවෙනි යට සඟව ගත්තෙමි තදින්
ඒ කඳුළු මතු දිනෙක ගිලිහෙනා විට නෙතින්
සුළඟක්ව නුඹ යාවි තනිව පිසලමි ඉතින්,,,
No comments:
Post a Comment